Tuesday, September 10, 2013

සිහින!

ජීවිතයේ සෑම මොහොතකම, සෑම අවස්ථාවකම අපව ජීවත් කරවන, අපට ජීවය ලබාදෙන, අපට ශක්තිය ලබාදෙන ජීවිතයේ අපට ඇති වැදගත්ම දෙයකි සිහින. ලොකු, කුඩා, බාල, මහළු භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට තමන්ගේම කියා සිහිනයක්, අපූරු බලාපොරොත්තුවක් තිබේ. "මට හැබෑකරගන්න ඕන හීනයක් නෑ" යැයි යමකු පවසන්නේ නම් එය හුදු මුලාවකි. එය ඔහු ඔහුගේම සිහිනය යටපත් කරගැනීමට, එය සඟවා ගැනීමට, ඔහු විසින්ම ඔහුගේ සිහිනට ප්‍රතික්ෂේප කිරීමට සිදු කරන්නාවූ අසාර්ථක ව්‍යායාමයකි. එසේත් නොමැතිනම් කරුනු නිවැරදිව වටහා නොගැනීමකි. යමෙකුගේ ජීවිතයට සැමවිටම ජීවය ලබාදෙන්නේ සිහිනයි.

අප දැනුවත්ව හෝ නොදැනුවත්ව අප සතුව අපටම ආවේනික වූ, අපේම වූ සිහිනයක් පවතී. අප මේ මොහොතේ, ඊළඟ තත්පරයේ, ගතවූ නිමේෂයේ පවා සිදුකරන දේ සිදුකරනුයේ ඒ සිහිනය වෙත ළඟාවීමටයි. සිහිනය එසේත් නොමැතිනම් බලාපොරොත්තුව පුද්ගලයාගෙන්, පුද්ගලයාට ආවේනික වූ යමකි. ලෝකයේ වෙසෙන කෝටි ප්‍රකෝටි ගනනක් වූ සෑම මිනිසකුටම තමාටම ආවේනික වූ සිහිනයක් පවතී. නමුත් තමා සතු සිහිනය නිවැරදිව දකිනුයේ කිහිප දෙනෙකි. ඔවුහු තමා බලාපොරොත්තු වූ ජීවිතය වෙත කෙමෙන් පියමනිති. තමාගේ සිහිනය සැබෑවක් කරගනිති. "ඔබේ හීනය මොකක්ද?' මේ ගැටලුවට අප සතුව පිලිතුරක් පවතී. නමුත් එය හුදු වචන කිහිපයක්ම පමනකි. මේ කරුන අප අතිමහත් බහුතරයකට සත්‍යයකි. එසේ නොවන පිරිසක්ද නොසිටිනවා නොවේ. තමාගේ සැබෑ සිහිනය මෙයයැයි අවබෝධ කරගත් තැනැත්තාට එය සැබෑ කරගැනීම එතරම්ම අපහසු කාර්යයක් නොවනු ඇත.

අපහසුම කාර්යය නම් තමන්ගේ සිහිනය නිවැරදිව අවබෝධ කරගැනීමයි. සමාජ වටපිටාව, ඔබ ඇසුරුකරන්නන්ගේ බලපෑම්, මූල්‍යමය බලපෑම් වැනි දහසකුත් දෑ මත ඔබ ඔබේ සැබෑම සිහිනය ඔබේ යටිසිතෙහි අඳුරු මුල්ලකට කරනු ලබයි. එසේ සැගවී ගිය සැබෑ සිහිනය නැවත සිත මතුපිටට ගෙන ඒම ඔබ සතු හැකියාවයි. එය සාර්ථකත්වයේ අඩි තාලමයි. තමාගේ සැබෑ සිහිනය අවබෝධ කරගත් තැනැත්තාට එය පසුපස හඹායෑම එතරම්ම අපහසු නොවේ. නියම සිහිනය පසු පස හඹායන්නාට බාධක යනු තමන්ගේ සාර්ථකත්වයේ, තම සිහිනය යථාර්තයක් බවට පත්කරගැනීමේ ගමන්මගේ වැදගත්, වටිනා සන්ධිස්ථානයන්ය.

එබැවින්, ඔබ සිටින සමාජවටපිටාව කුමක් වුවත්, ඔබ සිටින තත්වය කුමක් වුවත් ඔබේ සිහිනයට ඔබ වෙතින් පලායාමට ඉඩ නොදෙන්න. අවස්ථාවට අනුව ගැලපෙනම දේ, කාලයට අනුව ගැලපෙනම දේ තෝරාබේරාගෙන කටයුතු කරන අතරම තමා සතු, තමාගේ සත්‍ය සිහිනය අවබෝධ කරගන්නට තැත් කරන්න. එය පසුපස හඹා යන්න. සාර්ථකත්වය එතරම්ම ඈතක නොවන බව ඔබට පසක් වනු ඇත.