Tuesday, September 10, 2013

සිහින!

ජීවිතයේ සෑම මොහොතකම, සෑම අවස්ථාවකම අපව ජීවත් කරවන, අපට ජීවය ලබාදෙන, අපට ශක්තිය ලබාදෙන ජීවිතයේ අපට ඇති වැදගත්ම දෙයකි සිහින. ලොකු, කුඩා, බාල, මහළු භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට තමන්ගේම කියා සිහිනයක්, අපූරු බලාපොරොත්තුවක් තිබේ. "මට හැබෑකරගන්න ඕන හීනයක් නෑ" යැයි යමකු පවසන්නේ නම් එය හුදු මුලාවකි. එය ඔහු ඔහුගේම සිහිනය යටපත් කරගැනීමට, එය සඟවා ගැනීමට, ඔහු විසින්ම ඔහුගේ සිහිනට ප්‍රතික්ෂේප කිරීමට සිදු කරන්නාවූ අසාර්ථක ව්‍යායාමයකි. එසේත් නොමැතිනම් කරුනු නිවැරදිව වටහා නොගැනීමකි. යමෙකුගේ ජීවිතයට සැමවිටම ජීවය ලබාදෙන්නේ සිහිනයි.

අප දැනුවත්ව හෝ නොදැනුවත්ව අප සතුව අපටම ආවේනික වූ, අපේම වූ සිහිනයක් පවතී. අප මේ මොහොතේ, ඊළඟ තත්පරයේ, ගතවූ නිමේෂයේ පවා සිදුකරන දේ සිදුකරනුයේ ඒ සිහිනය වෙත ළඟාවීමටයි. සිහිනය එසේත් නොමැතිනම් බලාපොරොත්තුව පුද්ගලයාගෙන්, පුද්ගලයාට ආවේනික වූ යමකි. ලෝකයේ වෙසෙන කෝටි ප්‍රකෝටි ගනනක් වූ සෑම මිනිසකුටම තමාටම ආවේනික වූ සිහිනයක් පවතී. නමුත් තමා සතු සිහිනය නිවැරදිව දකිනුයේ කිහිප දෙනෙකි. ඔවුහු තමා බලාපොරොත්තු වූ ජීවිතය වෙත කෙමෙන් පියමනිති. තමාගේ සිහිනය සැබෑවක් කරගනිති. "ඔබේ හීනය මොකක්ද?' මේ ගැටලුවට අප සතුව පිලිතුරක් පවතී. නමුත් එය හුදු වචන කිහිපයක්ම පමනකි. මේ කරුන අප අතිමහත් බහුතරයකට සත්‍යයකි. එසේ නොවන පිරිසක්ද නොසිටිනවා නොවේ. තමාගේ සැබෑ සිහිනය මෙයයැයි අවබෝධ කරගත් තැනැත්තාට එය සැබෑ කරගැනීම එතරම්ම අපහසු කාර්යයක් නොවනු ඇත.

අපහසුම කාර්යය නම් තමන්ගේ සිහිනය නිවැරදිව අවබෝධ කරගැනීමයි. සමාජ වටපිටාව, ඔබ ඇසුරුකරන්නන්ගේ බලපෑම්, මූල්‍යමය බලපෑම් වැනි දහසකුත් දෑ මත ඔබ ඔබේ සැබෑම සිහිනය ඔබේ යටිසිතෙහි අඳුරු මුල්ලකට කරනු ලබයි. එසේ සැගවී ගිය සැබෑ සිහිනය නැවත සිත මතුපිටට ගෙන ඒම ඔබ සතු හැකියාවයි. එය සාර්ථකත්වයේ අඩි තාලමයි. තමාගේ සැබෑ සිහිනය අවබෝධ කරගත් තැනැත්තාට එය පසුපස හඹායෑම එතරම්ම අපහසු නොවේ. නියම සිහිනය පසු පස හඹායන්නාට බාධක යනු තමන්ගේ සාර්ථකත්වයේ, තම සිහිනය යථාර්තයක් බවට පත්කරගැනීමේ ගමන්මගේ වැදගත්, වටිනා සන්ධිස්ථානයන්ය.

එබැවින්, ඔබ සිටින සමාජවටපිටාව කුමක් වුවත්, ඔබ සිටින තත්වය කුමක් වුවත් ඔබේ සිහිනයට ඔබ වෙතින් පලායාමට ඉඩ නොදෙන්න. අවස්ථාවට අනුව ගැලපෙනම දේ, කාලයට අනුව ගැලපෙනම දේ තෝරාබේරාගෙන කටයුතු කරන අතරම තමා සතු, තමාගේ සත්‍ය සිහිනය අවබෝධ කරගන්නට තැත් කරන්න. එය පසුපස හඹා යන්න. සාර්ථකත්වය එතරම්ම ඈතක නොවන බව ඔබට පසක් වනු ඇත.

Tuesday, August 27, 2013

ජීවිතයේ වැදගත්ම දේවල්...

එක්දිනක් විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට දේශනයක් පවත්වන්න දර්ශනවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් පැමිනියා. දේශන ශාලාවට ඇතුලුවුනු මහාචාර්යවරයා කිසිවක් නොකියාම ඔහු ඉදිරියේ තිබුනු මේසය මත වුනු කෝප්පට අතට ගත්තා. ඉන්පසු එයට විශාල ප්‍රමාණයේ ගල්කැට කිහිපයක් දැමූ ඔහු "දැන් මේ කෝප්පෙ පිරිලද?"යැයි තම සිසුන්ගෙන් විමසා සිටියා. "ඔව්" හැමදෙනාම පිලිතුරු දුන්නා. ඉන්පසු මේසය මතවූ තරමක් කුඩා ගල්කැට කිහිපයක් ගෙන කෝප්පයට දැමූ ඔහු කෝප්පට මදක් සෙලෙව්වා. කලින් දැමූ විශාල ගල්කැට අතර වූ හිඩැස් අතරට කුඩා ගල් කැට පිරුණා. "දැන් මේ කෝප්පෙ පිරිලද?" ඔහු නැවත වරක් ප්‍රශ්න කලා. "ඔව්" සිසුන් නැවතත් පිලිතුරු දුන්නා.

ඉන්පසු මේසය මතවූ සිනිදු වැලි වලින් මහාචාර්යවරයා එම කෝප්පට පිරෙව්වා. සිනිදු වැලි, කෝප්පය තුල වූ ගල් අතර ඇති හිඩැස් තුලට කාවැදී මුලු කෝප්පයම පිරීගියා. "දැන් මේ කෝප්පෙ පිරිලද?" මහාචාර්යවරයා නැවතත් ප්‍රශ්න කලා. "ඔව්" සිසුන් නැවතත් පිලිතුරු දුන්නා.

"ජීවිතයත් මේ වගේ" මහාචාර්යවරයා තම දේශනය ඇරඹුවා "ලොකු ගල් කැට කියන්නේ අපිට වැදගත්ම වෙන දේවල්. අපේ පවුලෙ අය, ඔබගේ සහකරුවා හෝ සහකාරිය, සෞඛ්‍ය වගේ දේවල්. හැමදේම නැතිවුනත් ඔබට ඉතිරිවෙන දේවල්. මේ දේවල් වලින් විතරක් වුනත් ඔබේ ජීවිතය පිරිල තියේවි. කුඩා ප්‍රමාණයේ ගල් කැට කියන්නෙ ඔබේ රැකියාව, නිවස, වාහනය වගේ දේවල්. වැලි කියන්නෙ අනිත් හැමදේම. පොඩි පොඩි දේවල් ඔක්කොම."

"ඔබ මුලින් කෝප්පය වැලි වලින් පිරෙව්වොත් ලොකුගල් කැට වලටවත්, පොඩි ගල්කැටවලටවත් කෝප්පේ ඉඩ නැතිවෙනවා. ජීවිතයත් ඒ වගේ. ඔබ කුඩා දේවල් කෙරෙහි ඔබේ කාලය, ශ්‍රමය වැය කලොත් ඔබට ගොඩක් වටින අනිත් දේවල් ඔබට අහිමි වෙලා යනවා. ඔබේ ජීවිතයට ඇත්තටම සතුට ගේන දේවල් අහිමි වෙනවා. ඔබේ පවුලෙ අයත් එක්ක කතාබහ කරන්න, පෙම්වතා හෝ පෙම්වතිය සමඟ කාලය ගතකරන්න. ඔබට හැමවිටම අනෙක් වැඩ සඳහාත් කාලට තිබෙනවා."

"මුලින්ම විශාල ගල් කැට ගැන අවධානය යොමුකරන්න. ඔබට වැදගත්ම දේවල් තෝරගන්න. අනිත් දේවල් වැලි විදිහටම සලකන්න."